නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අනුපුබ්බෙන මේධාවී
ථොක ථොකං ඛණේ ඛණේ
කම්මාරෝ රජතස්සේව
නිද්ධමේ මලමත්තනෝ

සැදැහැවත් පින්වතුනි,

අද වෙසක් පුර පසළොස්වක දවසයි. මහා කාරුණික වූ සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන්පෑම යන කාරණා තුනම අද වැනි වෙසක් පොහොය දිනක සිද්ධවීම නිසා වෙසක් පොහොය දිනය බෞද්ධ ලෝකයාට අතිශයින්ම උතුම් වූ දවසක්. ඇත්ත වශයෙන්ම බෞද්ධයින්ගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බුද්ධ වර්ෂයක් ඇරඹෙන ඒ වෙසක් දවස. ලෝකයේ ඒ ඒ අයට නොයෙකුත් අළුත් අවුරුදු පිළිබඳ සංකල්ප තිබෙනවා. බටහිර ලෝකයේ ඒ ජනවාරි මාසයේ මුලදී අවුරුද්දක් පිළිබඳව හැඟීමක් ඇති කරගෙන තිබෙනවා. ග්‍රහලෝකෙයේ ඒ විදියටම අවුරුද්දක් පිළිබඳ හැඟීමක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම බෞද්ධ ලෝකයේ අපි බුදුරාජාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ වෙසක් පුර පසළොස්වක දවසයි අළුත් අවුරුද්ද හැටියට සළකන්නේ.

එතකොට ඒ කාරණය හොඳට තේරුම් අරගෙන, බුද්ධගුණ සිහියට අරගෙන උදෑසන නැගිටින ඒ බෞද්ධ පින්වතාට අද දවස සුන්දර දවසක්. අද දවස ශාන්ත දවසක්. අද දවස පිවිතුරු දවසක්. කල්ප කෝටි ගණනින් වත් ප්‍රමාණ කරන්නට බැරි තරම් අති දීර්ඝ කාලයක්, අති දුෂ්කර වූ පාරමී ධර්ම පුරලා, ඇස්, ඉස්, මස්, ලේ දන් දීලා ඒ බුද්ධත්වයට පැමිණ වදාළ මහා කාරුණිකයාණන් වහන්සේට ගෞරව උපහාර වශයෙන් නොයෙකුත් විදියේ විසිතුරු සැරසිලි, පුද පූජා ආදිය පවත්වන්නේ බෞද්ධයින් තමන්ට සසර දුක්ගිනි නිවා ගන්නා නිවන් මාර්ගය බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ නිසයි.

ඒ ගෞරව උපහාර දැක්වීමට සැරසිලි කිරීමේදී ඇත්ත වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕන සැරසිලි දෙවර්ගයක් තිබෙනවා, බුදු රජාණන් වහන්සේට ගරු බුහුමන් වශයෙන් කරන්නට පුළුවන්. බාහිර සැරසිල්ලයි, අභ්‍යන්තර සැරසිල්ලයි. බාහිර සැරසිල්ල කියලා කියන්නේ ඔය පිටතින් පිටස්තරව දකින්ට පුළුවන් වෙන වෙසක් දවසේ කොඩිවැල්, වෙසක් කූඩු, තොරණ ආදී වශයෙන් කරන ඒ සැරසිල්ලයි. අභ්‍යන්තර සැරසිල්ල කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ගුණධර්ම තමන්ගේ චිත්ත සන්තානයේ ඇති කරගෙන සිල් සමාදන්වීමෙන්, බණ ඇසීමෙන්, භාවනා කිරීමෙන්, මේ දවස ගෙවීම් වශයෙන් ඒ සිත් සතන් සරසා ගැනීම. එතකොට ඒක ඇතුළත සරසා ගැනීම. ඒ වගේම පුද පූජා ගැන කල්පනා කරන කොටත් දෙවර්ගයක පුද පූජා වලින් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වන්න පුළුවන් බව බුදුපියාණන්ම දක්වා වදාළා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියලා. ආමිස පූජා කියලා කියන්නේ, තෙල්, මල්, පහන්, සුවඳ දුම්, ආහාර පාන, ගිලන්පස ආදිය, බුදුරජාණන් වහන්සේට පූජා කිරීමයි. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ නීර්වාණගාමී ප්‍රතිපදාව වන ශීල, සමාධි, ප්‍රඥා කියල කියන ඒ ගුණධර්ම පුරුදු පුහුණු කිරීමයි. මේ පූජා දෙවර්ගය අතරින් වඩා උතුම් පූජාව හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ ප්‍රතිපත්ති පූජාවයි. එතකොට ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතා බාහිර සැරසිල්ලෙන් ආරම්භ කරන වැඩපිළිවෙල අභ්‍යන්තර සැරසිල්ල දිසාවට යොමු කරගන්නවා ක්‍රමක්‍රමයෙන්.

ඒ වගේම ආමිස පූජාවෙන් කරන ආරම්භය ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාව දෙසට නැඹුරු කරගන්නවා. බුදු පියාණන් වහන්සේ අපට නිතරම අවවාද කළෙත්, අපට උපදෙස් දුන්නෙත්, ඇත්තවශයෙන්ම ඒ විදියේ ක්‍රමානුකූලව අප තුළ දියුණුවක් ඇති කරගැනීමටයි, ඒ සැරසිලි පිළිබඳවත්, පුද පූජා පිළිබඳවත්. මේ කාරණය අපට හොඳට පැහැදිලි වෙන කථාන්තරයක්, පොඩි සරල කථා පුවතක් තමයි මේ අපි මතක් කළ ගාථා ධර්මයට නිදාන වශයෙන් ඒ බණ පොත්වල දක්වන්නේ. එක දවසක් එක්තරා බ්‍රාහ්මණයෙක්, ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයෙක් - තරමක් හෝ සංඝයා වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් වෙන්නට ඕන - සංඝයා වහන්සේලා පිඬු සිඟා වැඩීම සඳහා, උදෑසන ගමට පිඬුසිඟා වැඩීම සඳහා, රැස් වෙලා සිවුරු පොරවන ස්ථානයට ඇවිල්ලා නිකමට වගේ බලාගෙන හිටියා. එතන ඒ ස්ථානයේ හුඟාක් උඩට තණකොළ වැවිලා, උදෑසන පිණිබිඳු තිබුන නිසා සංඝයා වහන්සේලා සිවුරු පොරවන කොට සිවුරු කොන් පිණිබිඳු වලින් තෙමෙනවා අර බ්‍රාහ්මණයාට දකින්ට ලැබුණා. එහෙම දැකලා මේ උපාසක උන්නැහේ කල්පනා කරනවා, මම මෙතන සුද්ද කරන්න ඕන ටිකක් කියල, සංඝයා වහන්සේලා වැඩියාට පස්සේ උදැල්ලක් ගෙනැල්ලා, අතන අර තණකොළ ඇහැලා පොඩි කමතක් වගේ රවුමට ස්ථානයක් සකස් කළා. දෙවෙනි දවසේත් මේ තැනැත්තා ඇවිල්ලා බලාගෙන සිටිනවා සංඝයා වහන්සේලා ගමට පිඬුසිඟා වඩින අවස්ථාවේදී, තමන් කල වැඩේ පොඩි අඩුවක් එහෙම තියෙනවාද කියලා බලන්ට වෙන්න ඕන. එහෙම බලාගෙන ඉන්නකොට පෙනී ගියා, අතන තණකොළ ඉවත් කළ නිසා දැන් දූවිලි තියෙනවා. දූවිලි මතුවෙලා සංඝයා වහන්සේලා සිවුරු පොරවන කොට සිවුරු කොන් වල දූවිලි තැවරෙනු දැකලා, සංඝයාවහන්සේලා වැඩියට පස්සේ මේ උපාසක උන්නැහේ සුදු වැලි ගෙනැල්ලා අතුරලා ඒ දූවිලි නැති කළා. ඊළඟ දවසෙත් එතනට ඇවිල්ලා මේ විදියටම බලාගෙන ඉන්නවා. එදා තදට ඉර පායනවා උදෑසනම. හිරු රශ්මිය නිසා සංඝයා වහන්සේලාට දහඩිය වැටෙනවා දැකලා කල්පනා කළා, මම මෙතන පොඩි ආවරණයක් කරන්න ඕන කියලා, සංඝයාවහන්සේලා වැඩියට පස්සේ එතන පිළියෙල කළා පොඩි මඩුවක්, ආවරණයක්. නැවතත් දවසක් ඇවිල්ලා එතන බලාගෙන සිටිනවා, එදා තදට වහිනවා, වැහි කුණාටුව නිසා සංඝයා වහන්සේලාට පීඩා වෙනවා දැකලා කල්පනා කළා, මම මෙතන පොඩි ශාලාවක් හදන්න ඕන කියලා. ඉතින් ඒ විදියට එතන පොඩි ශාලාවක් හදලා, සංඝයා වහන්සේලාට පිණ්ඩපාතේ යාමේදී රැස් වෙන්න පොඩි ශාලාවක් හදලා, ඊළඟට කල්පනා කළා, දැන් මේ ශාලාව මම බුද්ධප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කරන්ට ඕන කියලා හිතලා, බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ආරාධනා කරලා - එතන ලොකු තැනක් තොවෙයි, - ඒ ශාලාව වටෙත් සංඝයා වහන්සේලා වඩම්මවලා දානයක් පූජා කරලා, අනුමෝදනාවට කලින් ඒ පින්වතා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මේ විදියටයි මේ ලොකු පිංකම ආරම්භ කළේ බොහොම සුළුවෙන්. කලින් අර විදියට තණකොළ ඇහැලා, පොඩි කමතක් වගේ තැනක් සුද්ද කළා. ඊළඟට එතනට මේ වැලි ටිකක් ඉස්සා. ඊළඟට එතන පොඩි මඩුවක් හැදුවා. ඊළඟට පොඩි ශාලාවක් මේ විදියට හදලා, දැන් දානමය පිංකමකුත් කළා’ කියලා. ඒ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ ප්‍රශංසා කරමින් ඒ බ්‍රාහ්මණයාට ප්‍රකාශ කරනවා, ‘එහෙම තමයි බ්‍රාහ්මණය, නුවණැති පුද්ගලයා මොහොතින් මොහොත, ටිකෙන් ටික, කුසල් කරමින් තමන්ගේ චිත්ත සන්තානයේ තියෙන සියලුම කෙලෙස් මලකඩ ඉවත් කරගන්නවා’ කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මය වදාළා. ඇත්ත වශයෙන්ම ඒ ගාථාව ඉතාම සරල ගාථාවක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයට ආදර්ශ පාඨයක් කරගන්නට තරම් වටින, කටපාඩම් කරගෙන ආදර්ශ පාඨයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් තරම් වටින ගාථා ධර්මයක්. ධම්ම පදයේ මලවග්ගයේ සඳහන් වන ගාථාවක් මේක.

අනුපුබ්බෙන මේධාවී
ථොක ථොකං ඛණේ ඛණේ
කම්මාරෝ රජතස්සේව
නිද්ධමේ මලමත්තනෝ

මේකේ සාමාන්‍ය අදහස, ‘මේධාවී’ කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා. අනුපුබ්බෙන කියන්නේ, අනුක්‍රමයෙන්, ක්‍රමක්‍රමයෙන් කියන එකයි. ථොක ථොකං කියලා කියන්නේ ටිකෙන් ටික. ඛණේ ඛණේ කියන්නේ, මොහොතින් මොහොත. කම්මාරෝ රජතස්සේව. ‘කම්මාරෝ’ කියන්නේ කම්මල්කරුවා. මෙතන කියන්නේ රන් , රිදී වැඩ කරන තැනැත්තා. ‘රජතස්සේව’ කියන්නේ රිදියෙහි, රිදිය පිළිබඳව කරන්නාක් මෙන්, ‘අත්තනො මලං නිද්ධමේ’ තමන්ගේ චිත්ත සන්තානයේ තිබෙන මලකඩ, ඒ කියන්නේ රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන්, කම්මල්කරුවා රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන්, අර ‘මේධාවී’ කියලා කියාපු, කලින් කියාපු අර ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා, තමන්ගේ චිත්ත සන්තානයෙහි තියෙන කෙලේස් මලකඩ ඉවත් කරන්නේය කියන එකයි ඒ ගාථාවේ අදහස. බුදුපියාණන් වහන්සේ යම් ගාථාවක් ප්‍රකාශ කළා නම්, සකල පද ගාථාවක් වුනත්, ඒ එක් එක් පදයක් පවා ඉතාමත්ම ගැඹුරු අර්ථයක් දනවන, ඒ වගේම හොඳට ගැලපිලා එන, එක වචනයක් වත් ඉවත් කරන්නට බැරි තරමට පුදුම විදියේ සංවිධානයකින් යුක්ත ගාථාවක්. ඒ වගේම ඒ හැම ගාථාවක්ම තුළින් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් තරමේ ධර්ම ශක්තියක් තිබෙනවා.

ඒ තරම් වටිනා විමුක්ති රසයක් ඒ හැම ගාථාවකම තිබෙනවා. දැන් මේ ගාථාවේ අපි සඳහන් කළ පදත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්, ‘මේධාවී’ කියලා කියන්නේ උත්පත්තියෙන්ම හොඳ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන තැනට ඔබින නුවණක් එහෙම ඇති, ඒ වගේම සංසාරික වශයෙන් බුද්ධිය මුහුකුරා ගිය පුද්ගලයින්ට ‘මේධාවී’ කියලා යොදලා තියෙනවා. - ඒ හොඳ ප්‍රඥාවට, නුවණට ශක්තිය ඇති - උගත්කමක් වැඩිය නැතත්. ඒ වගේ ‘මේධාවී’ කියන පුද්ගලයා. ‘අනුපුබ්බෙන’ කියන වචනයක් ඉතාමත්ම වටිනා වචනයක් - ‘අනුපිළිවෙළින්’. එතන අර ක්‍රමානුකූලත්වයයි පෙන්නුම් කරන්නේ. මේ ධර්මයේ විශේෂ ලක්ෂණයක් තමයි ක්‍රමානුකූලත්වය. පුදුමාකාර ක්‍රමානුකූලත්වයක් මේ ධර්මයේ තිබෙනවා. බුදුපියාණන් වහන්සේ යම් ධර්ම කොට්ඨාශයක් පෙන්නුම් කළා නම්, ඒක එකිනෙකට හොඳට ගැලපිලා එනවා දම්වැලක පුරුක් වගේ. ඒ වගේම බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා පහාරාද කියන අසුරේන්ද්‍රයට ‘සෙයාථාපි පහාරාද’ මහා සමුද්‍රේ අනුපුබ්බි නිතෙනා, අනුපුබ්බි පොහො, අනුපුබ්බි පබ්භාරො, න ආයතකෙනෙව පපාතො, එවමේව බො පහාරාද, ඉමස්මිං ධම්මවිනයේ, අනුපුබ්බි සික්ඛා, අනුපුබ්බි කිරියා, අනුපුබ්බි පටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවේධො’ කියලා. පහාරාදය, යම්සේ මහා සමුද්‍රයෙහි, අනුක්‍රමයෙන්, ඒ කියන්නේ ක්‍රමානුකුල වූ බැස්මක් ඇද්ද, ක්‍රමානුකූල නැම්මක් ඇද්ද, ක්‍රමානුකූල නැඹුරුවක් ඇද්ද, එක පාරටම ප්‍රපාතයක් නැද්ද, අන්න එමෙන්ම, ඒ ආකාරයෙන්ම මේ ධර්ම විනයෙහි, මේ සාසනයෙහි, අනුපිළිවෙළින් යන, ඒ කියන්නේ ක්‍රමානුකූල වූ හික්මීමක් ඇත, ක්‍රමානුකූල වූ වැඩපිළිවෙලක් ඇත. ක්‍රමානුකූල වූ ප්‍රතිපත්ති මාර්ගයක් ඇත, එක පාරටම රහත්වීමක් මෙතන නැත කියලා ඒ විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, මේ මුළු මහත් සාසනයේ ඒ ධර්මය, ඒ ධර්ම ප්‍රතිපත්ති මාර්ගය මහා සමුද්‍රයට උපමා කරලා.

මහා සමුද්‍රය - මේ පින්වතුන් දන්නවා, - මුහුදු වෙරළ කුඩා දරුවෙකුට සිප්පි කටු ඇහිඳින්න පුළුවන් තරම් ඉතාමත්ම සුන්දර තැනක්. ඊළඟට ඊට ටිකෙන් ටික ඇතුළට යන කොට රළ පාගන්න පුළුවන්. ටිකෙන් ටික ගැඹුරු වේගෙන යනවා. තවත් ඇතුළට යනකොට ඉතාමත්ම ගැඹුරුයි. අන්න ඒ විදියට මේ සාසනයේත් තිබෙන ප්‍රතිපත්ති මාර්ගයේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මට්ටමින් කිට්ටුවෙලා ආරම්භයක් කරන්න පුළුවන්. අන්න ඒ විදියේ ක්‍රමානුකූලව ධර්මයම ඇදගෙන යන ස්වභාවයක් තිබෙනවා; එකින් එකට. එතකොට ගැඹුරු දේවල් ගැන කියන කොට මේ මුළු මහත් සාසනය, එහෙම නැතිනම් ධර්ම මාර්ගය, ප්‍රතිපත්ති මාර්ගය, මහා සමුද්‍රයට උපමා කරලා තියෙනවා, ගැඹුර ගැන සළකලා. තවත් සමහර අවස්ථාවල මේ ධර්මය ටිකෙන් ටික ඉහළට යන එකක්, උසස් දේවල් කරා යන එකක් හැටියට දක්වන තැන් වල, උපමාව දක්වලා තියෙන්නේ පඩිපෙළ, තරප්පු පෙළ. තරප්පු පෙළක් නගින්නා වගේ මේ ධර්මය එකින් එකට ටිකෙන් ටික ඉහළට ගෙන යනවා කියලා. එතකොට මහා සමුද්‍රයේ උපමාවෙන් අර ගැඹුර දක්වනවා. ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ වගේම අර පඩි පෙළකින්, යම්කිසි ප්‍රාසාදයකට නැගින පඩි පෙළක් වගේ දෙයක් නම් එතන ටිකෙන් ටික නැගලයි එතනට ගොඩ වෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ පුදුම ලක්ෂණයයි, මේ ‘අනුපුබ්බ’ කියන වචනයෙන් දක්වන්නේ. අනුපිළිවෙළ. එකිනෙකට එකින් එක අරගෙන යනවා, ක්‍රමානුකූලත්වයක් කියනවා, එකිනෙකට සම්බන්ධ වෙලා.

ඊළඟට ‘ථොක ථොකං ඛණේ ඛණේ’. මේ වචන ටිකත් බොහොම ගැඹුරක් ඇති වචන ටිකක්. බැලුවහම බොහොම පහසුයි, සරලයි, තේරුම් ගන්න. නමුත් මේක යට තිබෙන අදහස ඉතාම වටිනවා. ‘ථොක ථොකං’ කියන්නේ ටිකෙන් ටික. ‘ඛණේ ඛණේ’ කියන්නේ මොහොතින් මොහොත. මේ වචන ටිකේ අදහස ටිකක් විමසා බලනවා නම්: ටිකෙන් ටික. එහෙම නැත්නම් ක්‍රමානුකූලත්වය. ටිකක් වෙතරක් කියලා කිව්වා නම්, එතන ක්‍රමානුකූලත්වයක් නෑ. ටිකෙන් ටික කියන කොට ඉඳීම ක්‍රමානුකූලත්වයක් හැඟෙනවා. මොහොතක් විතරක් කියලා කිව්වා නම්, ඒකේ ක්‍රමානුකූලත්වයක් නැහැ. මොහොතින් මොහොත කියන කොට එතන ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. අත්ත ඒ වගේ මෙතනින් පෙන්නුම් කරන්නේ, මෙතනින් මේ ලෝකයාට ලබා දෙන්නේ, යම්කිසි ‘හැකි සංඥාවක්’. ‘හැකි සංඥාව’ කියලා කියන්නේ, යමක් කරන්න පුළුවන් කියන හැඟීම. මේක බොහෝ දෙනා තුළ නැහැ. දැන් අපි හිතමු බණ, භාවනා ගැන හෝ වෙනත් කටයුතු, මේ ධර්ම කටයුතු, ධර්මය පිළිබඳව විශේෂයෙන්ම, යම්කිසි කෙනෙකුට කිව්වොත්, මේ දවසේ, මේ කාලයේ අනන්න ලැබෙන්නේ ‘කොහේද ඕවාට වෙලාවක්’, අපට මේ කොතෙකුත් වැඩ කියනවා. මේවා කරන්න කොහෙන්ද වෙලාවක් සොයාගන්නේ, හුස්ම ගන්න වත් වෙලාවක් නැහැ.

ඔය විදියේ නොයෙකුත් මැසිවිලි කියනවා. මෙන්න මේ අයට හොඳ බෙහෙත තමයි මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. ‘ථොක ථොකං ඛණේ ඛණේ’ ටිකෙන් ටික මොහොතින් මොහොත. මේ කියන ප්‍රතිපත්තිය, එහෙම නැතිනම් මෙන්න මේ කියන න්‍යායය, මූලධර්මය, මේක ලෝකයේ නොයෙකුත් ආකාරයෙන්, නොයෙකුත් ලෞකික දේවල්වලටත් යොදවා ගන්නවා. දැන් මේ පින්වතුන් දන්නවා, ‘ඉතිරි කිරීමේ ව්‍යාපාරය’ කියලා තිබෙනවා. කාටවත් විසිකරන්න මුදල් නැහැ, මීළඟ මුදල් නැහැ, නමුත් මේ හැම දෙනෙක්ම තම තමන්ගේ දූ දරුවන් ගැන හිතලා, තමන්ගේ අනාගත ආපදා ගැන හිතලා, ටිකෙන් ටික ඉඩ ලැබෙන ලැබෙන හැටියට ඉතුරු කරනවා. සුළු ආරම්භයකින් ලොකු වැඩක්. ඒ වගේ මේ ධර්ම මාර්ගයෙත් තිබෙන්නේ. මේකට කාලය නැත, අපට කොතෙකුත් වැඩ තිබෙනවා, කියලා කාලය අපතේ හරින්නේ නැතිව මේ කුසල් ධර්ම පිළිබඳව ටිකෙන් ටික යම්කිසි ආරම්භයක් කරලා, ක්‍රමානුකූලව දියුණුව කරගෙන යන්නට පුළුවන් කියන අදහසයි බුදුපියාණන් වහන්සේ මෙතන දෙන්නේ.

ලෝකයාට හැකි සංඥාවක් ලබා දෙනවා, මේ වචන කිහිපයකින්. ‘ථොක ථොකං ඛණේ ඛණේ’. ඒක වරදවා තේරුම් අරගෙන, ටිකක් විතරක් කරලා, ඒ ඇති කියලා හිතන්න නරකයි. ටිකෙන් ටික. ටිකක් කරන්න පුළුවන් කෙනාට ඒ ටික තුළින් පුළුවන් හුඟාක් ළං කරගන්න. කොහෙත්ම කරගන්න බැරි වෙතවා ටිකක්වත් ඒ සඳහා යෙදෙන්නේ නැත්තම්. ඒ වගේම එක මොහොතක් හරියට යෙදුවොත් ඒ තැනැත්තාට පුළුවන්, මොහොතින් මොහොත ඒ දිගට ගෙන යන්න. දැන් අපි දන්නවා මේ මහා ගංගාවක් කියලා කියන, මේ මුහුදට මහා සද්ද නගාගෙන යන මහා ගංගාවක් සමහර විට ආරම්භ වෙන්නේ මේ වහළකින් වැටෙන දිය බින්දු කිහිපයක් එකතු වෙලා. ඒ විදියට මේ හැම දෙයක්ම එකතු වෙලා ගිහිල්ලයි විශාල දෙයක් බවට පත්වෙන්නේ. බුදුපියාණන් වහන්සේ මෙබඳු තවත් තැනක, ධම්මපදයේම තවත් උපමාවක් දක්වලා තියෙනවා ඉතාමත්ම හිත ගන්නා විදියේ. ඒත් පිං දහම් ගැන කථා කරන අවස්ථාවකයි.

මාවමඤ‍්ඤෙථ පුඤ‍්ඤස‍්ස - න මන්‍දං ආගමිස‍්සති
උදබින්‍දු නිපාතෙන - උදකුම‍්භොපි පූරති
පූරති ධීරො පුඤ‍්ඤස‍්ස - ථොකං ථොකම‍්පි ආචිනං

‘මේ සුළු පින මා කරා, - මේ සුළු පිනේ ආනිසංසයන් මා කරා - එන්නේ කොහොමද කියලා පිනට නිග්‍රහ කරන්න එපාය, සුළු කොට සිතන්න එපාය, අවමන් කරන්නට එපාය, කියනවා. ඊළඟට දෙන උපමාව: ’උදබින්දු නිපාතේන - උදකුම්භෝපි පූරති.’ වහින අවස්ථාවේ ඔය වතුර ටික ටික වහළෙන් වැක්කෙරෙන කොට කළයක් ඔතන තිබිබොත් ටික වේලාවක් යනකොට කළය පිරෙනවා. ‘උදබින්දු නිපාතේන..’ වතුර බිංදු වැටීම නිසා ‘උදකුම්භෝපි පූරති’ කලයක්, දිය කළයක් පවා පිරෙනවා. අන්න ඒ අනුව, ඒ අනුසාරයෙන්ම, හිතා ගන්න පුළුවන් ‘පූරති ධීරෝ පුඤ්ඤස්ස - ථොක ථොකම්පි ආචිනං’ ධීර කියන්නේ ඥානවන්ත පුද්ගලයා. ඒ ඥානවන්ත පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා ‘ථොක ථොකම්පි ආචිනං’ - ‘ථොක ථොකං’ කියන වචනය යෙදෙනවා. ‘ටික ටික’. ටික ටික නමුත් එකතු කරමින් ‘පූරති පුඤ්ඤස්ස’ පිනෙන් පිරෙනවා කියලා ඒ විදියටත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ ආශ්‍රයෙන් අපට හිතාගන්නට පුළුවන් මෙන්න මේ ‘ථොක ථොකං ඛණේ ඛණේ’ කියන වචන කිහිපය බොහොම වටිනා වචන කිහිපයක්. ඊළඟට දෙන උපමාව ගැනත් කල්පනා කරලා බලමු. ‘කම්මාරෝ රජතස්සේව’ අපි කිව්වා ‘කම්මාර’ කියලා මෙතන යොදන්නේ, කම්මල් කරුවා කියන්නේ, යකඩ තලන පුද්ගලයා නොවෙයි, රත් රිදී වැඩ කරන තැනැත්තා පිළිබඳවයි.

අපි සාමාන්‍යයෙන් කියන්නේ රන්කරුවා කියලා. නමුත් මෙතන දීලා කියෙන්නේ උපමාවට රිදීයයි . එකත් යම්කිසි අර්ථයක් ඇතුවයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. රිදී කියන ද්‍රව්‍යය මේ පින්වතුන් දන්නවා, හොඳ සුදු පාට දීප්තියක් ඇති දෙයක්. සුදුපාට දෙයක්. නමුත් සුදු පාට දෙය පිළිබඳව තියෙන තත්ත්වය තමයි මෙතන කියන්නේ: ‘කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනො’ නමුත් මේ රිදියෙහි මලකඩ බැඳිලා තිබෙනවා. මලකඩ බැඳිච්ච රිදී කැබැල්ලක් රන් කරුවකුට හමු වුනාම මේක ක්‍රමක්‍රමයෙන් අර කියාපු න්‍යාය අනුව, එක පාරටම ඒකේ කුණු ටික අහක් කරන්න බැහැ, රන් රිදී වැඩ කරන කට්ටිය දන්නවා, ටිටින් ටිට මේක රත් කරලා, සිසිල් කරලා ටික වේලාවක් තිබෙන්නට ඇරලා, ඔය විදියේ ක්‍රමානුකූලත්වයකිනුයි රන් රිදී වල වැඩ කටයුතු කරන්නේ. ඒ විදියටම රන්කරුවා රිදියෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන් ක්‍රමානුකූලව, ටිකෙන් ටික, මොහොතින් මොහොත, අන්න ඒ විදියටම ‘අත්තනො මලං නිද්ධමේ’ තමන්ගේ චිත්ත සන්තානයෙහි දීර්ඝ කාලයක් සංසාරයේ එකතු වෙලා තිබෙන කෙලෙස් මලකඩ ඉවත් කරන්නේය කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ ගාථාවෙන් දක්වලා වදාළේ. එතකොට මේ තුළින් හැකි සංඥාව වගේම තවත් ගැඹුරු අදහසක් මතු කරනවා. මේ අපේ චිත්ත සන්තානයේ මලකඩ බැඳිලා තිබෙන බව නම් අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ, බුදු කෙනෙකුන් අවශ්‍ය නැති තරමට අපි දන්නවා මලකඩ බැඳිලයි තිබෙන්නේ. එයින් පීඩා විඳිනවා. සමහර විට ඒ මලකඩවල තත්ත්වය - කොයි තරම් බලගතු විදියට මලකඩ බැඳිලද කියන එකයි සාමාන්‍ය පුද්ගලයා නොදන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. නමුත් ඊට වඩා වටිනා කාරණය තමයි ඒ මලකඩය යටින් තිබෙනවා යම්කිසි දීප්තියක්. ඒක ලෝකයාට ලොකු උද්යෝගයක් , ධෛර්යයක් ඇතිවන කාරණයක්. බුදු පියාණන් වහන්සේ ඒ කාරණය ඉතාමත්ම පුදුම අන්දමින් කිසිම ශාස්තෘවරයෙකු ප්‍රකාශ නොකළ අන්දමින් ප්‍රකාශ කරලා තිබෙනවා එක අවස්ථාවක - මේ සිතේ ස්වභාවය. සිතේ ස්වාභාවික වශයෙන් යම්කිසි දීප්තියක් තිබෙනවාය, ඒක මේ කෙලෙස් මලකඩ නිසා ආවරණය වෙලා තිබෙනවාය කියන එක ප්‍රකාශ කළා.

‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති, තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමි’

මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි. ආලෝකවත්. දීප්තිමත්. නමුත් ‘තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං’ නමුත් මේ සිත ආගන්තුක, බාහිරෙන් ආ, බැහැරින් ආ, මලකඩ වලින්, ආගන්තුක උපක්ලේශ ධර්ම වලින්, කිලිටි වෙලයි තිබෙන්නේ. ‘තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති’, ධර්මඥානය නැති සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා මෙන්න මේ කාරණය තත්ත්වූ පරිදි, ඇති තතු, දන්නේ නැත. ‘තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමි.’ අන්න එම නිසා ඒ ධර්මඥානය නැති සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා චිත්ත භාවනාව පිළිබඳව, බණ භාවනාව පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැත. ඊළඟට අනික් පැත්ත දක්වනවා,

‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං. තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති, තස්මා සුතවතො අරියසාවකස්ස චිත්තභාවනා අත්ථීති වදාමි’

මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි. එය බාහිර උපක්ලේශ ධර්ම වලින් විමුක්ත වන එයින් මිදෙන, අවස්ථාවකුත් තිබෙනවා. මෙන්න මේ කාරණය, ඒ ධර්මඥානය ඇති ආර්ය ශ්‍රාවකයා ඇති තතු පරිදි දන්නවා. අන්න ඒක නිසා එබඳු ඒ ධර්මඥානය ඇති ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් තිබෙනවා. ඒ තැනැත්තා භාවනාවේ යෙදෙනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. අන්න ඒ අනුව හිතාගන්න පුළුවන් එතකොට මෙයින්, ලෝකයාට විශාල ධෛර්යයක් ලබා දෙන කාරණයක් තමයි මේ අපේ චිත්ත සන්තානයේ ස්වාභාවික, නෛසර්ගික යම්කිසි දීප්තියක් තිබෙනවාය, ප්‍රභාවක් තිබෙනවාය, ඒ ප්‍රභාව මතු කරගන්නටත් පුළුවන් කමක් තිබෙනවාය, මේ මලකඩ ක්‍රමානුකූලව, ටිකෙන් ටික, මොහොතින් මොහොත ඉවත් කරන්නට පටන් ගත්තොත් යම්කිසි දවසක ඒ සංසාරයේ තමන් දිගින් දිගටම කරගෙන තිබෙන ශක්තිය අනුවත්, වර්තමාන උත්සාහය අනුවත්, කෙනෙකුට ඒ ලෝකෝත්තර තත්ත්ව, සාමාන්‍ය කෙනෙකුට හිතන්ට බැරි තරම් ඒ ගැඹුරු ඉතාමත්ම පිරිසුදු තත්ත්ව පවා ඇති කරගන්න පුළුවන් වෙනවාය, චිත්ත පාරිශුද්ධිය ලබාගන්න පුළුවන් වෙනවාය කියන එකයි අපට මේ ගාථාවෙන් මතු කරලා දෙන්නේ. ඊළඟට මෙන්න මේකට කියන ක්‍රියා මාර්ගයත් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් විදියට පෙන්නුම් කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම, එකක් මේ සරල උපමාවක්. කුඩා දරුවෙකුට පවා තේරෙන තේරුම් ගන්න පුළුවන් විදියේ, උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වපු තැනක් තමයි, අර කුඩා රාහුල ස්වාමීන් වහන්සේට බුදුපියාණන් වහන්සේ මේ සිත පිරිසිදු කරගන්නා ආකාරය පිළිබඳව දක්වා වදාළ උපමාවත් ඒ අනුව කරන ලද ඒ අනුසාසනයත් .

එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ රාහුල සාමණේරයාණන් වහන්සේගෙන් අහනවා, ‘කිං මඤ්ඤසි රාහුල කිම්පටියෝගෝ ආදාසො’; මොකක්ද රාහුල මේ ගැන හිතන්නේ. මේ කණ්ණාඩිය කියන එක මොකටද? කණ්ණාඩිය මොකටද කියලා අහනවා, අර පොඩි දරුවෙකුගෙන් අහන්නා වගේ. එතකොට රාහුල හාමුදුරුවෝ පිළිතුරු දෙනවා, ‘පච්චවෙක්ඛණත්ථො භන්තෙ’ ස්වාමීනි, ඒ දෙස හොඳට සැළකිල්ලෙන් බැලීමටයි.’ කණ්ණාඩිය කියලා කියන එක සැළකිල්ලෙන් ඒ දෙස බලන්න යි තියන්නේ. ඊළඟට අන්න එතකොට බුදු පියාණන් වහන්සේ උපමාව ආශ්‍රයෙන් ප්‍රකාශ කරනවා ‘එවමේව රාහුල, - මේ අර කියාපු ’පච්චවෙක්ඛිත්වා’ කියන වචනයයි එකනට දැම්මේ. ‘පච්චවෙක්ඛිත්වා’ කියලා කියන්නේ ආපසු හැරිලා බලනවා සැළකිල්ලෙන්, නුවණින් සලකා බැලීම කියන අදහස තියෙනවා. - අන්න ඒ විදියටම රාහුල නුවණින් සලකා බලමින්, ‘පව්ව වෙක්ඛිත්වා පව්ව වෙක්ඛිත්වා’ - නැවත නැවතත් සළකා බලමින්, කයින් කටයුතු කළයුතුයි. කයින් කරන කටයුතු නුවණින් සලකා බලමින්, නැවත නැවත නුවණින් සලකා බලමින්, කළයුතුය. ඒ වගේම වචනයෙන් කරන කටයුතුත්, මනසින් කරන කටයුතුත් පිළිබඳවත් කියලා කියන මෙන්න මේ විදියට ඒ සිත පිරිසිදු කරගැනීමේ ක්‍රමය ප්‍රකාශ කොට වදාළා.

ඊළඟට තවත් සවිස්තරව දක්වනවා, රාහුල දැන් නුඹට යම්කිසි වැඩක් කරන්න සිද්ද වෙලා තිබෙනවා නම් කයින්, ඒක කරන්නට කලින් කල්පනා කරලා බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. - අර පව්ව වෙක්ඛිත්වා කියන වචනය යොදනවා. - හරියට අර කණ්ණාඩිය දිහා බලන්නා වගේ ඒ වැඩේ දිහා බලන්න, බලන්නේ නුවණින්. නුවණින් සලකා බලන්න. මේ මා කරන්නට යන වැඩය මෙය මගේ හිංසාව පිණිස හේතු වෙනවාද, අනුන්ගේ හිංසාව පිණිස හේතු වෙනවාද, අපි දෙගොල්ලෝගෙම හිංසාව පිණිස හේතු වෙනවාද, කියලා එහෙම කලින්ම කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට යම්කිසි විදියකින් ඔබට වැටහුනොත් මේ වැඩේ කළොත් මෙන්න මෙහෙම විපාක කිබෙනවා, මේක මට නරකට හිටිනවා, අනුන්ට නරකට හිටිනවා, අපි දෙපැත්තටම නරකට හිටිනවා කියලා තේරුනොත් ඒ වැඩේ නොකර හරින්න. ඒක කරන්නට පෙර, ඒවාගේම කරන අතරේ, යම්කිසි විදියකින් මුල් අවස්ථාවේදී එහෙම වැටහුනේ නැහැ, ඒක කරගෙන යනවා. නමුත්, කරගෙන යන අවස්ථාවේදීත් - ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කර වදාරණවා, - කරන අතරෙත් අර විදියටම ප්‍රත්‍යවේක්ෂා කරන්න. කණ්ණාඩියක් දිහා බලන්නා වගේ අර වැඩේ දිහා නුවණින් සලකලා බලන්න, මේ කරන වැඩේ මේ විදියට කරගෙන ගියොත් ඒක මට හිංසාවක් වෙනවාද, මගේ පිරිහානිය පිණිස හේතු වෙනවාද, අනුන්ට හිංසාවක් වෙනවාද, අපි දෙපක්ෂයටම හිංසාවක් වෙනවාද … එහෙම වැටහුනොත් ඒ කරගෙන යන අවස්ථාවේ, ඒක එතනම ලත් තැනම ලොප් කරන්න ඕන, ඒක එතනම නවත්වන්න ඕනැයි කියලා බුදුපියාණන් වහන්සේ වදාළා. යම්කිසි විදියකින් වැටහුනොත් මේ කරගෙන යන වැඩේ - නෑ, ඒක මටත් හිංසාවක් නැහැ, මගෙත් හොඳටයි, ඒක මගෙත් යහපතටයි, අනුන්ගෙත් යහපතටයි අපි දෙපක්ෂයෙම යහපතටයි හිංසාවක් එහෙම වෙන්නේ නැහැ” කියලා තේරුනොත්, අන්න එතකොට ඒ වැඩේ කරගෙන යන්න, කියලා ඒ විදියට දක්වා වදාළා. ඊළඟට ඒ කරන අතර පිළිබඳවයි. එපමණක් නොවේ, කළාට පසුවත්. සමහර වැඩ තිබෙනවා, කරන්න කලින් තේරෙන්නේ නැහැ, කරන අතරෙත් තේරෙන්නේ නැහැ, නමුත් කළාට පසුවයි මේකේ නියම තත්ත්වය තේරෙන්නේ. අන්න ඒක නිසා කළාට පසුවත් මේක මේ විදියටම ප්‍රත්‍යවේක්ෂා කරන්න, - කරලා බලන්න. මා කයින් යම් වැඩක් කලා නම් ඒ වැඩය, මගේ හිංසාව, මගේ පිරිහානිය පිණිස හේතු වුනාද, අනුන්ගේ හිංසාව පිණිස හේතු වුනාද, අපි දෙපක්ෂයෙම හිංසාව පිණිස හේතු වුනාද, එහෙම වුනා නම්, එහෙම තේරුනා නම්, ඒ අවස්ථාවේ - ඒ ගැන දැන් ඉතිං කරන්න දෙයක් නැහැ ඒක පිළිබඳව - නමුත් එතන බුදුපියාණන් වහන්සේ දක්වන පිළිවෙත සංඝයා වහන්සේලාට අයිති ක්‍රමයක්. ඒක ‘අනේ මගේ අතින් මෙන්න මෙහෙම වැරැද්දක් වුනා’ කියලා ශාස්තෘන් වහන්සේටම, ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේටම, ඒක ඇවිල්ලා ඇවත් දෙසීම් වශයෙන් ප්‍රකාශ කරනවා. එහෙම නැතිනම් අනිකුත් තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළහට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, “මං අතින්, මගෙන් මෙහෙම අත් වැරැද්දක් වුනා” කියලා “තවත් මා ඒ විදියේ එකක් කරන්නේ නෑ” කියලත් පොරොන්දු වෙනවා. ‘ආයති සංවරය’ කියලා කියන්නේ එකයි. නැවත එක නොකරන්න අධිෂ්ඨාන කරගන්නවා. අන්න ඔය විදියටයි කයින් කරන වැඩ. ඒ විදියටම, ඒ න්‍යායයෙන්ම, ඒ අනුසාරයෙන්ම, වචනයෙන් කරන වැඩ පිළිබඳවත් එහෙම හිතලා බලන්න, කරන්න කලිනුත්, කරන අතරෙත්, කලාට පසුවත්, ඒ වගේම හිතින් කරන වැඩ. හිතින් කරන වැඩ තමයි, නොයෙකුත් දේවල් පිළිබඳව හිතනවා. ඒක ගැනත් තමන් කල්පනා කරලා බලන්න. “මේ හිතිවිලි ධාරාව, හිතිවිලි ටික, මේක මගේ යහපත පිණිස හේතු වෙනවාද, අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවාද, දෙපක්ෂයෙම යහපත පිණිස හේතු වෙනවාද” කියලා. අන්න ඒ විදියට ඒ ධර්ම න්‍යායය බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ දක්වා වදාළා. ඒ අර කණ්ණාඩියේ උපමාව ආශ්‍රයෙන්.

ඊළඟට උන්වහන්සේ ඒකේ ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා. “රාහුල අතීතයේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණයින්, මහණ බමුණන් තමන්ගේ කාය කර්ම පිරිසිදු කර ගත්තා නම්, වචී කර්ම පිරිසිදු කර ගත්තා නම්, මනෝ කර්ම පිරිසිදු කර ගත්තා නම්, ඒ හැම එකක්ම කළේ මෙන්න ඔය කියාපු න්‍යායය අනුවයි, ක්‍රමය අනුවයි. අනාගතයේ යම් තාක් මහණ බමුණන් තමන්ගේ කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියා පිළිබඳව යම් පාරිශුද්ධියක් ඇති කරගන්නවා නම්, ඒ කරන්නෙත් මේ ක්‍රමය අනුවයි. දැන් කාලයේ මහණ බමුණනුත් කරන්නේ මේ ක්‍රමය අනුවයි” කියලා බුදු පියාණන් වහන්සේ ඒ සුත්‍ර දේශනාව රාහුල ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කොට වදාළා.

මෙතන මේ ගත්තු කණ්ණාඩිය අපට බොහොම ප්‍රයෝජනවත් එකක්. මේ කණ්ණාඩිය කියන එක මේ පින්වතුන් කොතෙකුත් දන්නවා. ගෙදර වල තිබෙනවා කණ්ණාඩියක්. එතකොට, මුළ ශරීරෙම පේන කණ්ණාඩිත් තියෙනවා ගෙදරවල් වල. නමුත් ඒවායින් පෙන්නුම් කරන්නේ ශරීරේ විතරයි. මේ ශරීර පේන කණ්ණාඩියක් නොවෙයි මේක - ධර්ම කණ්ණාඩියක්. මේක හිත පෙනෙන කණ්ණාඩියක්. මේ කණ්ණාඩිය අනුසාරයෙන් මේ කියන ධර්මය, මේක, එහෙම පිටින්ම හිත පෙන්වන කණ්ණාඩියක්. හිතේ කිලිටිය පෙන්වන්නේ. නමුත් මේ අනුසාරයෙන් හිතාගන්න පුළුවන් දැන් මේ පින්වතුන්ට හිස පීරීමේදී , මුහුණ, හැඩ වැඩ දැමීම ආදියේදී, ඒක කරන්න කලිනුත් කණ්ණාඩිය දිහා බලනවා, මේ මුණේ හෝ මේ හිසේ හෝ සකස් කරන්න තැනක් තියෙනවාද කියලා. කරගෙන යන අතරෙත් බලනවා. කළාට පසුවත් ආපසු හැරිලා බලනවා මා මේ හොඳට සැරසුනු එක දැන් ඉතිං අඩු පාඩුවක් නැද්ද කියලා.

අන්න ඒ වගේ මේ ධර්ම කණ්ණාඩිය දිහා බලන්න ඕන. අර ධර්මයේ දැක්වූ න්‍යායය අනුව, මේක අනුන්ගේ හිංසාවට, තමන්ගේ හිංසාවට, දෙපක්ෂයෙම හිංසාවට ආදී වශයෙන් ඒ කුසල් අකුසල් පිළිබඳ කථාන්තරයයි එතන කිව්වේ. අර විදියට හිංසාවට හේතු වෙනවා නම් ඒක අකුසලයක්. ඒක හිංසාවකට හේතු නොවෙනවා නම්, ඒක කුසලයක්. යහපතට හේතු වෙනවා නම් ඒක කුසලයක්. ඒක මේ පින්වතුන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදියට මේක ධර්ම කණ්ණාඩියක්, මේ ධර්මය කියලා කියන්නේ එහෙම පිටින්ම කණ්ණාඩියක්. කොයි තරමිද කියතොත් අරහත්වය ලබා ගත්තු තෙරණියන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්, ඒ තමන් ලබාගත්තු ප්‍රත්‍යක්ෂය පිළිබඳව ප්‍රකාශ කොට වදාළා, ‘ධම්මාදාසං අපේක්ඛිත්වා’ කියලා. මම ධර්ම කණ්ණාඩියේ මුහුණ බැලුවා කියලා. ඒ මුහුණ බැලුවා කියලා කියන්නේ, මෙතන හිත බැලුවා. ධර්ම කණ්ණාඩිය දිහා බලලා මේවා සකස් කරගත්තා, කියලා.

ඔන්න ඔය ආශ්‍රයෙන් අපට හිතාගන්නට පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ සුත්‍ර දේශනාවේ දුන්න ඒ උපදේශයත් අපට උපකාර වෙනවා, අපේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී. මේ හැම දෙනාටම තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි, කාලය සොයා ගැනීම. ඊළඟට මේක කරන්නේ කොහොමද කියන එක, මේකේ හැකි සංඥාව නෑ. ඒ වගේම, කරන්න, ආරම්භයක් කරන්නේ කොහොමද, කරගෙන යන්නේ කොහොමද, කියන එක.

අන්න ඒ වගේ හොඳ උපදේශ අපට මේ සුත්‍ර දේශනා වලින් හමු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක ඒ වගේම වටිනා උපමාවක් සහිත සුත්‍ර දේශනාවක් කළා.

‘අච්ඡරා සංසාත’ සූත්‍රය කියල සූත්‍රයක් තිබෙනවා. ‘අච්ඡරා සංසාත’ කියා කියන්නේ පින්වත්නි, අසුර ගැසීම. අසුරක් ගහනවා කියන එක මේ පින්වතුන් දන්නවා. දැන්, මහපටැඟිල්ලත්, මැදැඟිල්ලත් අල්ලා පොඩි සද්දයක්, නාදයක් පවත්වනවා සමහර අවස්ථාවල් වල. ඇදුරෝ එහෙමත් ඔය තොවිල් පවිල් කරනකොටත්, ඔය යකෙක් එහෙම එළවන්න ඕන වුනාමත් ඔය විදියට අසුර ගහනවා. නමුත් මෙතන මේ බුදුපියාණන් වහන්සේ මේ දේශනාවේ අදහස් කරන්නේ අසුරක් ගසන වෙලාව. ඉතාම සුළු වෙලාවක් මේකට යන්නේ. සුළු මොහොතක් කියන එකයි එතනත් හැඟෙන්නේ. අච්ඡරා සංසාත සූත්‍රයේ දේශනා කරනවා බුදුපියාණන් වහන්සේ, “මහණෙනි…” ඒ සංඝයා වහන්සේලාටයි ප්‍රකාශ කරන්නේ, නමුත්, තුන් ලෝකයාටයි මේ කාරණය දන්වන්නේ. “මේ අසුරක් ගසන තාක්, එපමණ ඒ සුළු කාලයක් හෝ යම්කිසි කෙනෙක්, යම්කිසි භික්ෂුවක් මෛත්‍රී සිතක් වඩනවා නම්, ඒ අසුරක් ගසන සුළු කාලය තුළ පවා, අන්න එබඳු භික්ෂුව පිළිබඳව මා ප්‍රකාශ කරනවාය, එබඳු භික්ෂුව මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරනවාය, ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදිනවාය, ඒ ලෝකයා විසින් දෙන පිණ්ඩ ආහාරය නිකරුනේ පරිභෝග නොකරන කෙනෙක්ය කියලා ඒ වගේම ධ්‍යානය වැඩීම කියන කාරණය හිස් කරන්නේ නැතුව, ඒක අපතේ හරින්නේ නැතුව, ධ්‍යාන නොකර ඉන්නේ නැතිව ජීවන් වන කෙනෙක්ය කියලා මා ප්‍රකාශ කරනවාය, කියා. ඒ කියන්නේ සුළු මොහොතක්, අසුර ගැසීම වැනි සුළු මොහොතක පවා, යම්කිසි කෙනෙක් මෛත්‍රී සිතක් වඩනවා නම්, ඒකත් එක්තරා සුළු ප්‍රමාණයකින් නමුත් ධ්‍යානයක්. එක්තරා සුළු ප්‍රමාණයකින් නමුත් බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ අවවාදයට අනුව පිළිපැදීමක්. ඒ වගේම ඒක නිසාම ඒ භික්ෂුත්වයේ යම්කිසි ශක්තියක් එයින් ලැබෙනවා, එයින් වටිනාකමක් එකතු වෙනවා. ඒක නිසායි ඒ දානය වළඳන්න තරම් සුදුසුයි කියලා ප්‍රකාශ කළේ.

එයින් වරදවා හිතාගන්න නරකයි මේ සුළු අසුර ගැසීම තරම් කාලයකට පමණක් සීමා කළයුතු එකක්ය භාවනාව කියලා. නමුත් මෙතන පෙන්නුම් කරන්නේ මේ අසුරක් ගැසීම වැනි සුළු කාලයකින් පටන් ගත්තා නම් යම්කිසි කෙනෙක්, ඒ ප්‍රතිපත්ති මාර්ගය ඒ තැනැත්තාට පුළුවන් ඉදිරියට ගෙන යන්න. දැන් අපි දන්නවා ලෝකයේ ලොකු වැඩ කරන්නේ ඒ වගේ සුළු වෙලාවෙන් ඉඩ ලබා ගත්තු අයයි. සුළු වෙලාවක වටිනා වැඩක් කරන්න පුරුදු කර ගත්තොත් හිත, ඒ තැනැත්තාට තම තමන්ගේ වැඩ කටයුතු කරන අතරේ ඒ ලැබෙන සුළු විවේකයෙන් අන්න අර අසුරක් ගසන වෙලාවක් මෙතන තිබෙනවා නේද, ඒක මට භාවනාවට යොදන්න පුළුවන් නේද, කියන බුද්ධ අවවාදය සිහිපත් කරගෙන ඒ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට ඒ මෛත්‍රී සිත ගැන ප්‍රකාශ කළා. ඊළඟට , ඒ වගේම අසුරක් ගසන තරම් සුළු කාලයක් මහණෙනි, යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවා නම්, අනිත්‍යතාව සිහි කරනවා නම්, ඒ කියන්නේ අනිත්‍ය භාවනාවයි. ඒ අනිත්‍යතාව පිළිබඳව භාවනාව විදර්ශනාවයි. ඊළඟට ඒ වගේම දුඃඛ සංඥාව මේ සංසාරයේ දුඃඛස්වභාවය ගැන මෙනෙහි කරනවා නම්, ඒ අනිත්‍ය හැම එකක්ම දුකයි. ඊළඟට මේ දුක් සහිත දේ මෙය අනාත්මයි කියලා මෙනෙහි කළා නම්, මරණ සතිය පුරුදු කළා නම්, බුද්ධානුස්සතිය වැඩුවා නම්, ධම්මානුස්සතිය වැඩුවා නම්, සංඝානුස්සතිය වැඩුවා නම්, මෙය කියන භාවනා සුළු වශයෙන් හෝ අසුරක් ගසන කාලයක් හෝ යම්කිසි භික්ෂුවක් පුරුදු කරනවා නම් අන්න ඒ භික්ෂුව අර විදියට ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරන කෙනෙක් කියලා මා ප්‍රකාශ කරනවාය කියා. මේ සූත්‍ර දේශනාවෙනුත් අපට හිතා ගන්නට පුළුවන්, මෙතනත් දෙන්නේ “හැකි සංඥාව.” “තුන්ලෝකයාට” හැකි සංඥාවක් ලබා දෙනවා. මේ අසුරක් ගැසීම වගේ වේලාව කියන එක, දැන් අපි අර ‘යකැදුරා’ කියන උපමාවක් ගත්තා බුදුපියාණන් වහන්සේ දෙන උපමා ඉතාමත් ගැඹුරුයි, ඉතාමත්ම අර්ථවත්. දැන් අපි දන්නවා, ඔය යකැදුරන් සමහර විට යකුත් එළවන්ට අසුරක් ගසලා කරන්නා වගේ දැන් මෙතනදී කරන්නෙත් අර සුළු වෙලාව, අසුරක් ගසන තාක් සුළු වෙලාව, කුසල් සිතක් පැවැත්වීමෙන් අර ‘කෙලෙස් යකා’ එහෙම නැතිතම් ඒ කෙලෙස් මලකඩ ඉවත් වෙන්න අවස්ථාවක් සලසා ගන්නවා. අන්න ඒ විදියට දැන් එතනිනුත් පෙන්නුම් කරන්නේ අර තමන්ගේ එදිනෙදා ජීවිතයේ ‘හැකි සංඥාවක්’ උපදවාගෙන මේ කටයුතුවල යෙදීමේ අගයයි - බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කොට වදාළේ.

එකකොට මේ විදියේ වැඩ කටයුතු කරන්නා නම් තවත් මේකට උපකාර කර ගතයුතු දෙයක් තිබෙනවා. මේ හැම එකක්ම මේ පින්වතුන්ට, මේ බෞද්ධයින්ට, ප්‍රායෝගික වශයෙන් උපකාර කර ගන්න පුළුවන් ටික අපි මේ ඉදිරිපත් කරන්නේ. මේ විදියේ වැඩක වැදගත් කමත් කෙනෙකුත් තේරුම් ගන්න ඕන. බුදුපියාණන් වහන්සේ ඒකත් නිතර බොහෝ අවස්ථාවල මතු කරලා තියෙනවා. ඒක මේ සාසනයේ හඳුන්වන්නේ සංවේග වස්තු කියලා. මේ හැම වාහන ආදියටත් තියෙනවා යම්කිසි වේගයක්. මේ වේගය හදාගන්න නොයෙකුත් ඉන්ධන ද්‍රව්‍ය - මේකට ‘පිරි’ හරි ‘සුපිරි’ හරි - ඒ විදියේ දේවල් එකතු කරගන්නවා. ඒ විදියට මේ සාසනික ගමන යන්නත් යම්කිසි වේගයක් අවශ්‍යයි. ඒ වේගයට කියනවා සංවේගය කියලා. ඒ වේගයට උපකාරී වන ඉන්ධන ද්‍රව්‍ය වැනි දේවල් වලට කියනවා සංවේග වස්තු කියලා. මොනවාද මේ සංවේග වස්තු. අතින් අල්ලන්න පුළුවන් දේවල් නම් නොවේ. මිළයට ගන්න පුළුවන් දේවලුත් නොවේ. නමුත් මෙන්න මේ කාරණා -

‘ජාති ජරා ව්‍යාධි මුති අපායා
අතීත අපායතුක වටට දුඃඛං
ඉදනි ආහාර ගවෙසී දුඃඛං
සංවේගවත්හු ඉමානි අට’

බුදුපියාණන් වහන්සේගේ වචනය අනුව කල්පනා කරලා, මේ සංසාරයේ අනන්ත කාලයක් අපි ඉපදිලා තිබෙනවා, මේ ඉපදීම පිළිබඳව, එහෙම නැතිනම් මේ උත්පත්තියම, මේ ජීවිතය ගැනම හිතලා වුනත් උපත කියන එක, කොයිතරම් භයානක අවස්ථාවක්ද? මේ මව්වරු දන්නවා, ඒ කුඩා දරුවා නොදත්තත්. ඊළඟට උපන්නාට පස්සේ එතන ඉදලාම දුක නේද තිබෙන්නේ. ඒ උත්පත්තිය කියන එක දුකයි, එතකොට බුදු කෙනෙක් නොකිව්ව්වත් ඒක ලෝකයා තේරුම් ගතයුතු දෙයක්. මේ කාලයේ නම් ඒවා උත්සව පැවැත්විය යුතු දෙයක් කියලා සළකනවා. වැළපිය යුතු තරම් කාරණයක්. මේ උත්පත්තිය ලැබීම. අතිදීර්ඝ කාලයක් සංසාරයේ මේ මෝඩකම කරලා තිබෙනවා. ඒ උපත නිසාම ඊළඟට ලැබෙන පළමුවෙනි තෑග්ග තමයි, උපන්දින තෑග්ග තමයි, මරණය. උපන්නා නම් ඒ තැනැත්තාට මරණය හිමියි. මරණය කරා යන ගමනේ ඊළහ සන්තිස්ථානය තමයි ජරාව කියන්නේ. උපතේ ඉඳලා - ජාති, ජරා. ඊළඟට ජරා කියන එක දෙවෙනි සංවේග වස්තුවයි. ජාති, ජරා, ඊළඟට ව්‍යාධි කියලා කියන්නේ, මේ ජරාවට යනකොට, ශරීරය දිරාගෙන යනකොට, වැඩි වැඩියෙත් ව්‍යාධිය ළංවෙලා ඒකට උදව් දෙනවා. ලෙඩ රෝග. ඊළඟට චුති, ඊළඟට අවසාන වෙන්නේ මරණයෙන්. එතකොට ජාති - උපත. ඊළඟට මහළුවීම, ජරාව කියලා කියන එක. ජරාවට පත්වීම. ඊළඟට ලෙඩ රෝග. ඊළඟ එක මරණය. ඊළඟට අතීතය ගැන, බුද්ධ වචනය අනුව කල්පනා කරනවා, අතීත සංසාරයේ කොයි තරම් අපි දුක් විඳලා තිබෙනවාද, ඊළඟට අනාගතයේ නිවන් දුටුවේ නැතිනම්, නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැතිනම්, අනාගතයේ කොයි තරම් දීර්ඝ කාලයක් - බුද්ධ වචනය අනුව - අපි මේ අති දීර්ඝ අනාදිමත් කාලයක සිට මේ සංසාරයේ ගමන් කරනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, එතකොට අනාගතයේදීත් ඒ විදියට දුක් විඳින්න වෙනවා. අතීත අපායතුක වටට දුඃඛං. මේ සංසාරයේ, මේ එක තැන කරකැවිල්ලේ, ඇති මෝඩකම, මේ නිසා ඇති වන දුක, ඊළඟට ඒ ගැන හිතන්න ඕන, නිතිපතා. ඒ වගේම මේ ජීවිතයේදී ආහාරය සෙවීම සඳහා යොදන ප්‍රයත්නය. ඒක කොයි තරම් දුකද? මේ සතුන් මේ ආහාරය සඳහා වෙහෙසෙන ආකාරය හිතලා බලන්ට ඕන. සමහර විට ධනවත් මිනිසුන්ට ආහාරය ලැබීම සුළු දෙයක් හැටියට හිතෙන්න පුළුවන්. සමහර විට අර අතීතයේ අනුරුද්ධ හාමුදුරුවන් බත ඉපදීම පිළිබඳව ප්‍රකාශ කරන්නා වගේ මේවා මේ මේසෙට එන පමණින් ආහාර ටික ලැබෙනවා කියලා. නමුත් ඒවා සඳහා කොයි තරම් වෙහෙසෙනවාද දවසක් පුරා - දවසක මේ ආහාර ටික සඳහා. ඒකත් ‘දුඃඛං’. අන්න ඒ විදියට මේ සංවේග වස්තු, මේ සංසාරයේ, ජීවිතය පිළිබඳව, සංසාරය පිළිබඳව, ඇති දුඃඛ ස්වභාවය නිතර මෙනෙහි කළයුතුව තිබෙනවා. ඒ සංවේගය අනුව කල්පනා කරලා, එතකොට මේ තමන්ට ලැබෙන සුළු ඉඩ, අපි අර ආපදා ගැන, දරුවන් ගැන, කල්පනා කරලා ඉතිරි කරන්නා වගේ, ටිකක් ඉතිරි කරන්නා වගේ, ඒ ලැබෙන සුළු මොහොත පිනක් දහමක් සඳහා, බණක්, භාවනාවක් සඳහා යොදන්න උත්සාහවන්ත වෙන්න ඕන.

මේ වගේ සංවේගය ඇති නොවීම නිසා තමයි සාමාන්‍ය බෞද්ධයින් ධර්මයෙන් ටිකෙන් ටික ඈත් වෙන්නේ. ඒ නිසාම මෙලොවත් දුක වැඩෙනවා. පරලොවටත් දුක් එක් රැස් කර ගන්නවා. එතකොට මෙන්න මේ විදියට මලකඩ රාශියක් ඉවත් කිරීමයි, ඉවත් කිරීමේ වැඩපිළිවෙළයි, මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා, මේ මලකඩ. ලෝකයේ නොයෙකුත් මලකඩ තිබෙනවා, මේ හැම මලකඩටම වඩා නියම මලකඩ හැටියට දක්වන්නේ:

……මලා වෙ පාපකා ධම්මා - අස‍්මිං ලොකෙ පරම‍්හි ච
තතො මලා මලතරං - අවිජ‍්ජා පරමං මලං

ලෝකයේ මෙලොවත්, පරලොවත්, නියම විදියේ මලකඩයක් තමයි පාපකර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකු මලකඩයක්. ලෝකයේ තිබෙන ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා, ‘තතො මලා මලතරං’ ඊටත් වඩා ලොකුම මලකඩය තමයි: ‘අවිජ්ජා පරමං මලං’ - අවිද්‍යාව කියලා කියන, ඒ නොදැනුම කියලා කියන, චතුරාර්ය සත්‍යය නොදැනීම කියලා කියන, ඒ මෝඩකම, ඒ අඥානකම. සාංසාරික සත්ත්වයා තුළ තිබෙන ඒ අඥානකම. ඒක තමයි ලොකුම මලකඩය. එතකොට මෙන්න මේ මලකඩය කපාහැරීමට තමයි බුදුපියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංශික මාර්ගය දක්වා වදාළේ. එතනත් අපට තිබෙන්නේ අනුපිළිවෙල වැඩපිළිවෙළක්. මොකක්ද මේ ආර්ය අෂ්ටාංශික මාර්ගය කියලා කියන්නේ. ඒක බොහෝ විට වචනයටයි සීමා වෙලා තිබෙන්නේ. මෙතන තිබෙන වටිනාකම බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මහ පුදුම විදියේ ධම් මාඟීයක් මෙතන තියෙන්නේ: සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ අංග අටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වන්නේ.

මේක අපි අපට තේරෙන සිංහල භාෂාවෙන් කිව්වොත් සම්මා දිට්ඨී කියලා කියන්නේ, ‘හරි දැකුම්’. එතන දැකුම කියලා කියන්නේ ඇහැට පේන දර්ශනය නෙවෙයි. ජීවන දර්ශනය පිළිබඳව, - ජීවිතය පිළිබඳව දැක්මයි. ලෝකය පිළිබඳ දැක්මයි. හරි දැකුම් කියලා කියන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ, ‘හරි සිතුම් පැතුම්’. ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ ‘හරි කියුම්.’ හරි වචන කියලා කියන එකයි. සම්මා කම්මන්ත කියලා කියන්නේ ‘හරි කෙරුම්’. සම්මා ආජීව කියලා කියන්නේ ‘හරි දිවි පැවතුම්.’ ජීවිතය පවත්වා ගැනීම පිළිබඳ ක්‍රමය. ඊළඟට සම්මා වායාම කියන්නේ ‘හරි වෙර දැරුම්.’ වීර්යයි. සම්මා සති කියලා කියන්නේ ‘හරි සිහි කෙරුම්.’ නියම විදියේ සිහි කිරීම. සම්මා සමාධි කියලා කියන්නේ ‘හරි සිත් එකඟ කෙරුම්.’ හරි විදියට සිත එකඟ කර ගැනීමයි. මේ එක එකක් ගැන දිග විස්තර කිරීමට කාලය මදි නිසා, කෙටියෙන් සඳහන් කළොත් සම්මා දිට්ඨී කියලා කියන්නේ, හැම කෙනාටම ජීවන දර්ශනයක් තිබෙනවා. අපරාධ කාරයාටත්, හැම කෙතාටම තියෙනවා යම්කිසි ජීවන දර්ශනයක්. පලඟැටියාටත් තියෙනවා ජීවන දර්ශනයක්. ඒක පිළිස්සිමෙන් කෙළවර වෙතවා. ඊළඟට ඒ විදියට ජීවන දර්ශනය යම් කෙනෙකුගේ හරි නම්, එතන ඉදලාම දියුණුව කරා යන්න පුළුවන්. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය වැරදි නම් එතන ඉදලාම පරිහානියි. එතකොට පළමුවෙනි පියවර තමයි ඇත්ත වශයෙන්ම ජීවන දර්ශනය කියන එක. ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ - සම්මා දිට්ඨී කියලා. ඒ කියන්නේ, එක අතකින් දක්වනවා, නොගැඹුරු වශයෙන් දක්වනවා නම්, මේ සංසාරය ගැන පමණක් කල්පනා කරලා ප්‍රකාශ කරනවා නම්, හොඳ තරක පිළිබඳව වටහාගැනීම. කුසල් අකුසල් පිළිබඳව වටහා ගැනීම. ලෝකයේ දානමානාදියේ ආනිශංස ඇත. කුසලාකුසල කර්මයන්ගේ එල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත ආදී වශයෙන් කාරණා දහයක් හැටියට දක්වනවා. ඒ කුසල් කිරීමට, පින් කිරීමට උපකාර වන විදියේ යම්කිසි දර්ශනයක්. ඒක මේ සංසාරයේ දුගතියට නොගිහින්, සුගතියට යාමට උපකාර වන විදියේ දර්ශනයක්.

නමුත් ඊටත් වඩා ගැඹුරට යන එක තමයි චතුරාර්ය සත්‍යය. තථාගත සම්මා සම්බුදු වහන්සේ කෙනෙකුන් විසින්ම දක්වා වදාරණ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය මේ මුළු මහත් සාංසාරික පැවැත්ම, මේ පංචස්කන්ධයම, දුකයි. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හා පිපාසය සංසිඳුවා ගත්තු තැන නිවනයි. ඒ නිවනට ඇති මාර්ගයම මේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි කියන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය ඒ විදියට සකස් කරගත්තා නම්, ඒ තැනැත්තා තුළ ඇතුළතින්ම යම්කිසි පරිවර්තනයක් ක්‍රමානුකූලව ටිකෙන් ටික, මොහොතින් මොහොත ඇතිවෙන්න පටන් ගන්නවා. හරියට අර පළමුවෙනි පඩියට නැග්ගාම, එක අඩියක් තිබ්බාම, අනෙක් කකුල ඉස්සෙනවා වගේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන මේ දර්ශනය, ජීවන දර්ශනය යම් කෙනෙකු තුළ ඇති වූනා නම්, ඒ තැනැත්තා තුළ ක්‍රමානුකූලව සිතුම් පැතුම් පිළිබඳව, යම්කිසි සියුම් පරිවර්තනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දක්වලා තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙක්ඛම්ම කියලා කියන්නේ, මේ ගිහිගෙයින් නික්මීම කියන අදහස, ගිහිගෙයින් නික්මීම පිළිබඳ අදහස. මේක කියන කොට මේ සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් කියලා හිතන්න නරකයි . ගිහිගෙයින් නික්මීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ සංසාරය දුකයි. දැන් සමහර විට ගිහි පින්වතුනුත් කලබල අවස්ථාවල ප්‍රකාශ කරනවා මහණ වෙන්න ඕන කියලා. යටත් පිරිසෙයින් යටි හිතේ හෝ තිබෙනවා ඒ මහණවීම පිළිබඳව මේ බෞද්ධ පින්වතුන් තුළ යම්කිසි නැඹුරුවක්. ඒකට උපකාර වෙනව සංඝයා වහන්සේලාගේ දර්ශනය, සංඝයා වහන්සේලා ඇසුරු කිරීම ආදිය. අන්න එබඳු අවස්ථාවල මේ පින්වතුන්ට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්පයයි. නික්මීම පිළිබඳ අදහසක්. ඒක කුසල් අදහසක්. ඒක කුසල සිතක්. අති දීර්ඝ කාලයක් නික්මීම පිළිබඳ සිතිවිලි ඇති වීමෙන් තමයි කෙනෙකුට පැවිදි වෙන්න පවා ශක්තියක් ලැබෙන්නේ.

ඒ විදියට ‘නෙක්ඛම්ම’ සංකල්පයට සිත නැඹුරු වෙනවා. අව්‍යාපාද සංකප්ප, ඒ කියන්නේ මෛත්‍රී සිතුවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි. ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසාව පුරුදු කරන්න. කිසිම සත්ත්වයෙකුට හිංසාවක් නොවේවා කියන සිතිවිලි. ඔන්න මේ සිතිවිලිවලට කියනවා සම්මා සංකප්ප කියලා. ඒ සිතිවිලි අනුසාරයෙන් ඒ තැනැත්තාගේ වචනත් ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම්. ඒවායින් ඉවත් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී සමාදන් වූ ආජීවඅට්ඨමක සීලයේ මේ ගැන කියවෙනවා. ඊළඟට ඒ හොඳ වචන කථා කරන අතරේ ඒවායින් වෙන් වෙලා සත්‍ය වචන, අනෙක් අය සමගි කරවන වචන, ඊළඟට ඒ වගේම අර්ථවත් වචන ඒ විදියට පාවිච්චි කරනවා නම්, මෘදු මොළොක් වචන පාවිච්චි කරනවා නම්, ඒ තැනැත්තා ඊළඟට කල්පනා කරනවා, මගේ වැඩත් තියෙන්න ඕන මගේ වචන හැටියට, කියලා. අර ප්‍රාණසාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර කියලා කියන වැරදි වලින් ඉවත් වෙන්න. පරපණ නැසීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන ඒවායින් වෙන් වෙන්න ඒ තැනැත්තා උත්සාහ කරනවා. මේක සම්මා කම්මන්තයයි. සම්‍යක් කර්මාන්තයයි. ‘හරි කෙරුම්’ එකයි.

ඊළඟට එතනින් නවතින්නේ නැහැ. සමහර විට මේ කාලයේ බොහෝ දෙනාට තිබෙන ලොකු ගැටලුවක් තමයි දිවි පෙවෙත, ජීවන මාර්ගය පිළිබඳ ප්‍රශ්නය. අධර්ම මාර්ගයට ඇද හෙළීමට නොයෙකුත් තැන් වලින්, නොයෙකුත් ලොකු තැන් වලින්, මේවාට ආධාර ලැබෙනවා. ඒකෙන් විශාල ලෙස බෞද්ධයාගේ ජීවිතය පරිහානිය කරා යනවා. එතකොට මිථ්‍යා ආජීව කියන්නේ වැරදි ජීවිකා ක්‍රම. ඒවා අතහරින්නට ඕන. බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා, බෞද්ධ පින්වතෙකු විසින් නොකළයුතු දේවල් හැටියට, නොකළයුතු රැකියාවන් හැටියට අවි ආයුධ වෙළඳාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළඳාම, විෂ ද්‍රව්‍ය වෙළඳාම, ඊළඟට මත්පැන් වෙළඳාම. අන්න මේවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිකාවක් සකස් කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. එහෙම නැතිනම් ඒ බෞද්ධ ජීවන මාර්ගය, ඒ ආජීවය කියන කාරණය, සම්පූර්ණ කරගන්න බැරිවෙනවා.

ඒ විදියට දිවි පැවතුම අමාරුවෙන් හරි, යම්කිසි පරිත්‍යාගයකින් හරි, කෙනෙක් සකස් කරගත්තා නම් ඒක අපතේ යන්නේ නැහැ. ඒ සඳහා යොදන උත්සාහය තුළින් තමයි, ඊළඟට , ඒ උත්සාහය තුළින් ඒ තැනැත්තා යෝගාවචර භූමියට, භාවනා භූමියට, ඉබේම ඇතුල් වෙනවා. ඉබේම ඒ තැනැත්තාට ඒ ඇතුල්වීමේ සුදුසුකම ලැබෙනවා. මොකද, අර තමන්ගේ දිවි පැවතුම සකස් කරගැනීම සඳහා දරණ උත්සාහය තුළින් ඒ තැනැත්තා කරන්නේ මොකක්ද, හිත ඇතුලේ කෙරෙන්නේ මොකක්ද. ඒකට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ‘හරි වෙර දැරීම්.’ නියම වීර්යය එකයි. ලෝකයේ කෙරෙන වීර්යයක් නෙවෙයි ඒක. සිත ඇතුලේ කෙරෙන වීර්යයක්. මොකක්ද ඒ වීර්යය. නූපන් අකුසල ධර්ම නුපදවීම සඳහා යොදන වීර්යය. උපන් අකුසල ධර්ම නෙරපා හැරීම සඳහා යොදන වීර්යය. නූපන් කුසල් උපදවාගැනීම සඳහා යොදන වීර්යය. ඊළඟට උපන්නා වූ කුසල්, ආරක්ෂා කරගැනීම, තහවුරු කරගැනීම සඳහා යොදන වීර්යය. කෙටියෙන් සලකා ගත්තොත් එතකොට මෙන්න මේ සතර ආකාර වීර්යය තුළ තිබෙනවා ඉතාම විශාල, වටිනා භාවනාවක්. ඒ භාවනාව දිගින් දිගට යාම තුළින් තමයි ඒ තැනැත්තා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහි කෙරුම, හොඳ සතියක් ඇති වෙන්නේ. හරියට මුරකාරයෙකුට වැඩක් දුන්තා නම්, මෙතනට නරක අය වද්දා ගන්න එපා, නරක අය ඉන්නවා නම් මෙතනින් පන්නන්න, හොඳ අය ළං කරගන්න, ඒ අයට හොඳට සළකන්න කියලා මුරකාරයෙකුට වැඩක් දුන්තා නම්, ඒ තැනැත්තාට නිදිනැතිව, ප්‍රමාදයට වැටෙන්නේ නැතිව, ඒ කටයුත්ත කරන්න සිද්ද වෙනවා. අන්න ඒ වගෙයි අර තමන්ගේ දිවි පැවතුම් පිළිබඳව උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සන්තානයේ ඇති වෙන ඒ විශාල පෙරළිය. විශාල පරිවර්තනය, ඒ විශාල වීර්යය, උත්සාහය, ප්‍රයත්නය නිසා ඒ තැනැත්තා තුළ ක්‍රමක්‍රමයෙන් වටිනා ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් ඇති වෙනවා සම්මා සතිය කියලා. නියම සිහිය, නියම සිහි කෙරුම.

හරියට සිහිය මතු වෙනකොට ඒකට යොමු වෙන්නේ, ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සතර සතිපට්ඨානයයි. මේ ශරීරයේ ස්වභාවය ගැන සිතන්න පටන් ගන්නවා. මේ ශරීරයේ ඇති වන වේදනාවල් ගැන, මේ හිතේ ස්වභාවය ගැන, සිතට එන, ඇති වන - සිතිවිලි ගැන, මෙන්න මේවා පිළිබඳව. මේකයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තමයි නිවනට ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය, නොවරදින මාර්ගයක්. ඒ සතර සතිපට්ඨානයයි. එතකොට ඒ සතිපට්ඨානය වැඩීම තුළින් ඊළඟට යම් කෙනෙකු තුළ සුළු වෙලාවක් ඒ සිහිය පවත්වා ගන්න ශක්තිය ලැබුනා නම් ඒක ක්‍රම ක්‍රමයෙන් ඒ වෙලාව වැඩි කරන කොට ඒ තැනැත්තාට යම්කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ තැනැත්තාගේ සිත තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදියට හරි සිත් එකඟ කෙරුම් තුළින් සිත එකඟ කරගන්න පුළුවන් වෙනවා, යම්කිසි කර්මස්ථානයක් තුළ. එයින් කෙරෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයයි. අපි මේ කාලයේ වචනයක් යොදනවා ‘පෞරුෂය’ කියලා. කෙනෙකුගේ ජීවිතය පිළිබඳව අදහස පෙන්නුම් කරන්න ‘පෞරුෂය’ කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පෞරුෂය කියන එක මතු වෙන්නේ මෙන්න මෙතනදී. හරියට අර චෛත්‍යයක් හදන්න පටන් ගෙන කොත පැළැන්දුවාම වගේ සම්මා සමාධිය යම්කිසි සන්තානයක ඇති වුනා නම්, ඒ තැනැත්තාගේ පෞරුෂය ඒකාග්‍ර වෙනවා. අන්න ඒ තත්ත්වයට පත්වීම තමයි ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කිරීම කියලා කියන්නේ.

යම්කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන්, ඒ ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කරගත්තා නම් ඒ තැනැත්තාට එතනම නිවනයි. මේ ධර්ම මාර්ගය කොයි තරම් පුදුමද කියතොත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, මේ ස්වාක්ඛාත වූ ධර්මය, සන්දිට්ඨිකයි අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී’ කියලා. ඒ කියන්නේ මේ මැනවින් දේශනා කරන ලද ධර්මය, ධර්ම ප්‍රතිපත්ති, ඒවා නොසිස් ප්‍රතිපත්ති ඇති ඒවා. ‘හරියට ආනිසංස දෙන නොවරදින ප්‍රතිපත්තියක්’ ඇති ධර්මයක් මේ. අන්න ඒක නිසා ඒක ස්වාක්ඛාතයි. සන්දිට්ඨික කියලා කියන්නේ, මේක එදිනෙදා ජීවිතයේ තමන්ට මෙලොවම ඇස පනාපිටම ඒවායේ ප්‍රතිඵල දකින්නට පුළුවන් වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ‘ථොක ථොකං ඛණේ ඛණේ’ කියලා, ප්‍රකාශ කළ ආකාරයට, ටිකෙන් ටික, හෙමින් හෙමින් හරි පටන් ගෙන ඒ කරන කරන ප්‍රමාණයට ආනිසංස තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි අකාලික ධර්මතාව අනුව විපාක දෙනවා. අර විශේෂයෙන් අපි ප්‍රකාශ කළේ ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ වෙනකොට එතනම නිවනයි. ආයිත් වෙන කෙනෙක් ඇවිල්ලා ‘දැන් සම්පූර්ණ කරාද, ඔන්න එහෙම නම් මම නිවන දෙනවා’ කියලා, කරන්න දෙයක් නැහැ. ඒකයි මේ ධර්මයේ අකාලික බව.

ඊළඟට ඒහිපස්සික කියලා කියන්නේ, ‘එව, බලව, කියනවා.’ ධර්මයමයි මේ ඇදගෙන යන්නේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ, ‘එන්න බලන්න’ කියලා. බොහෝ විට ඔය වෙළෙන්දන් එහෙම පදික වෙදිකා වල, ‘එන්න බලන්න’ කියලා ආරාධනා කරනවා. ඒ විදියේ දෙයක් නොවෙයි බුදුපියාණන් වහන්සේ මෙතන මෙහි දක්වලා තියෙන්නේ. ධර්මයයි මෙසේ ‘එන්න, බලන්න’ කියලා. අර ‘කාලා බලන්න’ කියන්නා වගේ, ‘මේ මාව මෙහෙම ක්‍රියාවට නගලා බලන්න, මෙහි ප්‍රතිඵල තිබෙනවාද’ කියලා. අන්න ඒ අදහසයි ඒහිපස්සික කියලා කියන්නේ. ‘එව බලව’ කියන එක. ඒ වගේම ඕපනයික කියලා කියන්නේ, එකකින් එකකට ඇදගෙන යන ශක්තියක් තිබෙනවා. අපි අර කිව්වා මහ මුහුදේ උපමාව අනුව, එකකින් එකකට ඇදගෙන යනවා. එකින් එකට ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. ඒක, පඩි පෙළක් නගින කොට එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා වගේ. ඒ නිසාම මේ ධර්ම මාර්ගයේ යම් තැනකින් ආරම්භ කළා නම්, හරියට ආරම්භ කළා නම්, හරියාකාර ආරම්භයක් කළා නම්, එතන ඉඳලාම ඒ තැනැත්තාට දියුණුව තිබෙනවා. නිකන් නොවේ එහි යෙදෙනවා නම්.

අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ එයින් පෙන්තුම් කරන්නේ ඒහිපස්සික, ඕපනයික, ගුණ. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී. නුවණැති පුද්ගලයින්ට අමුතුවෙන් කෙනෙක් ඇවිල්ලා කියන්න ඕන නැහැ, තමන්ටම ඒ ක්‍රියාවට නගලා තමන්ටම ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා, මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් තිබෙනවාද මේ සංසාරය කෙළවර කරගන්න පුළුවන්ද මෙලොවදීම ඒ ‘දිට්ඨෙව ධම්මේ’ කියන ආකාරයට මෙලොවම, ඒ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද, බැරිද කියන එක කරලාම බලන්න ඕන. අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා වදාළා. එතකොට මේ ගිහි පින්වතුන්ට තමන්ගේ ගිහි භාවය නිසා හෝ මේ ධර්ම මාර්ගය ගැන පසුබට වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේදී බුද්ධ කාලයේ පවා, අනාථ පිණ්ඩිකාදීන් මෙය මේ කාලයේ ධනවතුන් ගැන කල්පනා කරතකොට ඊට වඩා සිය දහස් ගුණයක් විශාල ධනයක් ඇති කෙනෙක් අනාථ පිණ්ඩික සිටාණන්. නමුත් සෝවාන් උපාසකයෙක්. ඒ තැනැත්තාගේ, ඒ උපාසක කුමාරයාගේ දූ දරුවන් පවා මාර්ග එල අවබෝධය ලැබුවා. විශාඛා මහා උපාසිකාව, ඊළඟට චිත්ත ගෘහපති, හත්ථක ආලවක ආදී ඒ ගිහි නාම රාශියක් තියෙනවා ඒ මාර්ග එල අවබෝධය ලැබූ අය අතර.

ඒ පින්වතුන් නිකන් තෙවෙයි කාලය ගත කළේ. නියම ධර්ම මාර්ගය හැම අවස්ථාවකදීම යොදා ගත්තා. බුදුපියාණන් වහන්සේ සමඟ ධර්මය සාකච්ඡා කරනවා, බණ භාවනා වල යෙදෙනවා, අන්න ඒ ආකාරයෙන් තමයි ජීවිතය ගෙවුව . අන්න ඒ විදියට ජීවිතය සාර්ථකව ගෙන යන බෞද්ධ පින්වතුන්ට පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් අදත් ප්‍රතිඵල නෙළාගන්න. අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන, දැන් අද විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතයේ තිබෙන වැඩ කටයුතු ආදිය නිසා මේ කාලයේදී බොහෝ දෙනා පසුබට වෙනවා. මේ වැඩ කටයුතු වලට කාලය සොයා ගැනීම පිළිබඳවයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේම ඒ නිසාම ප්‍රමාදයට වැටෙනවා.

මේ අප්‍රමාදය කියන එක බුදුපියාණන් වහන්සේගේ මූලික වචනයක්. ‘අ’ යන්න වගේ දෙයක්. මේවා කල් දාන්න බැහැ. ඒ කියන්නේ මේවා මේ බොහෝ දෙනා කියනවා ඇහෙනවා, විශ්‍රාම ගත්තාට පස්සේය මේ බණ භාවනා කරන්න පුළුවන් වන්නේ කියලා. නමුත් විශ්‍රාම ගත්තාට පස්සේ ඊළඟට වෙන ප්‍රශ්න එනවා. එහෙම නැතිනම් කායික දුබලතාවන් නිසා ඒවා කරගන්න බැරි වෙනවා. එතකොට මේ කල් දැමීම නිසා තමයි මෙච්චර කාලයක් මේ විදියට දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ සංසාර භය ඇති කරන්න සමහර අවස්ථාවල් වල පුදුම විදියේ දේශනා කරලා තිබෙනවා. ‘අනමතග්ග සංයුත්ත’ කියලා දේශනා පෙළක් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ බණ භාවනා වැඩූ සංඝයා වහන්සේලා තිස් නමකට, පාවා නුවරින් වැඩම කළ සංඝයා වහන්සේලා තිස් නමකට, එක අවස්ථාවක මහා සංවේගජනක, මහා පුදුම විදියේ දේශනාවක් ප්‍රකාශ කළා. ඒ දේශනාව කොයි තරම් බලසම්පන්නද කිව්වොත්, දේශනාව අවසාන වෙනකොට ඒ සංඝයා වහන්සේලා රහත් වුනා කියලා ප්‍රකාශ කරනවා. එතකොට කොයි විදියේ දේශනාවක්ද කළේ. මෙතන මේ විදියටයි ආරම්භ කළේ බුදුපියාණන් වහන්සේ. ’මහණෙනි, මේ සංසාරය, මුල් කෙළක් නොපෙනෙන තරම් අතිශයින්ම දීර්ඝයි. මේ සංසාරයේ මුල් කෙළවරක් කෙනෙකුට දැකගන්න බැරිය, අතිශයින්ම දීර්ඝ කාලයක් අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කළ මේ සත්ත්වයින්ගේ මුල් කෙළවරක් පෙනෙන්නේ නැත, ඊළඟට ප්‍රකාශ කරනවා, අන්න එබඳු ඒ සත්ත්වයින් ඒ සා දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරමින් හිස් ගැසුම් කා ගැලූ ලේ - සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් හැටියට විමසනවා - “මහණෙනි, කුමක්ද හිතන්නේ, මේ සා දීර්ඝ කාලයක් නුඹලා, මේ සංසාරයේ - ගෙල කැපුම් කා ගැලූ ලේද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලය ද වැඩි කියලා. සංඝයා වහන්සේලා ගෞරව පූර්වකව ප්‍රකාශ කරනවා,”භාග්‍යවතුන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය හරියාකාරව තේරුම් ගත්තා නම්, මේ අතිශය දීර්ඝ කාලය තුළ අප මේ සංසාරයේ ගමන් කරන අතර හිස් ගැසුම් කෑමෙන් ඒ ගැලූ ලේ වැඩීයි, සිවු මහා සමුද්‍රයේ ජලය අඩුයි.” ඊළඟට බුදු පියාණන් වහන්සේ එතනිත් නතර කළේ නැහැ, “මහණෙනි, නුඹලා ගොණුන්ව ඉපදිලා, ඒ කියන්නේ ගව ආත්මයේ ඉපදිලා, හිස් ගැසුම් කාලා ගැලූ ලේද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලයද වැඩි” කියලා.

එතන්දිත් එක දිගටම සංඝයා වහන්සේලාට පිළිතුරු දෙන්න සිද්ද වෙනවා, එතකොට ඒ ප්‍රකාශ කරන්නේ, - දැන් කෙනෙක් සමහරවිට හිතන්නේ මේ මුළු මහත් සංසාරයේ ඒ ඒ විවිධ ජාති වල ඉපදිලා, ගැලූ ලේ පිළිබඳ ප්‍රශ්නයයි මෙතන තිබෙන්නේ කියල. නමුත් බුදු පියාණන් වහන්සේ අහනවා මේ එක එක සතෙකු පිළිබඳව කාරණය මතු කරලා, “මහණෙනි නුඹලා ගවයින් වෙලා ඉපදිලා, මී හරකුන් වෙලා ඉපදිලා, එළුවන් වෙලා ඉපදිලා, කුකුළන් වෙලා ඉපදිලා, ඌරන් වෙලා ඉපදිලා, හිස් ගැසුම් කාලා ගැලූ ලේ, ඒ එක එක ජාති වල ඉපදිලා ගැලූ ලේ, ඒවාද වැඩි, සිවු මහා සමුද්‍රයේ ජලයද වැඩි” කියලා. ඒ හැම එකකටම සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා, “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හරියාකාරව තේරුම් ගත්තා නම්, එසේ ගලන ලද ලේම වැඩිය, සිවු මහා සමුද්‍රයේ ජලය නොවැඩිය.” අන්න ඒ විදියට පිළිතුරු දීලා, අවසාන වෙනකොට ඒ සංඝයා වහන්සේලා තුළ සංසාරයේ තත්ත්වය පිළිබඳව කොයි තරම් ගැඹුරින් අවබෝධයක් ඇති වුනාද කියතොත් - කලින් කිසිම මාර්ග එලයක්, අවබෝධයක් නැතිවයි එතනට පැමිණියේ, නමුත් හොඳට භාවනා කරලා තිබෙනවා, - ඒ දේශනාව අවසාන වෙනකොට සියල්ම කෙලෙස් මලකඩ වලින් ඉවත්වෙලා, අති පාරිශුද්ධ නිර්වාණය අවබෝධ කරලා සසර දුක් කෙළවර කළා කියලා සඳහන් වෙනවා.

අන්න ඒ අනුසාරයෙන් මේ පින්වතුනුත් කල්පනා කරන්නට ඕන, මේ සංසාරයේ නරක පැත්ත වශයෙන් බොහෝ දෙනා තුළ තිබෙන්න පුළුවන් සමහර විට - මේ දැන් ගිහි පින්වතුන් හැටියට සිටියත් - අනන්ත කාලයක් නොයෙකුත් තාපස ජීවිත ගෙවලා, සමහර විට සාසන වල සංඝයා වහන්සේලා හැටියට පෙනී හිටලා, එකතු කරගත්තු කුසල් ධර්ම බණ භාවනා පිළිබඳව. නමුත් අර අලු යට තිබෙන ගිනිපුපුරු වගේ ඒවා පිළිබඳව යම්කිසි උත්සාහයක්, වීර්යයක්, දරන්නේ නැතිනම් බණ භාවනා කරන්න බැරි වෙනවා, ඒවායින් ප්‍රතිඵල ලබාගන්න බැරි වෙනවා කවදාවත්. අන්න ඒක නිසා හිතන්න තියෙන්නේ ‘හැකි සංඥාව’ උපදවාගෙන අප තුළ යම්කිසි ශක්තියක් තිබෙන්න පුළුවන්, සංසාරයේ යම් යම් පාරමී ධර්ම පුරලා තිබෙන්න පුළුවන්, ඒවා පිහිට කරගෙන, වර්තමාන උත්සාහයක් ඒකට එකතු කරගෙන, අපි මේ ධර්මානුකූල මාර්ගයේ ගමන් කරලා, මේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට, අනුපිළිවෙළින් - ඥානවන්ත පුද්ගලයින් කරන්නා වගේ - අනුපිළිවෙළින්, ටිකෙන් ටික, මොහොතින් මොහොත අර රන්කරුවා ඒ රිදීවල මලකඩ ඉවත් කරනවා වගේ අපේ චිත්ත සන්තාන වල තිබෙන කෙලෙස් මලකඩ ඉවත් කරගන්න ඕන කියලා අධිෂ්ඨාන කරගන්න ඕන.

මේ අද - අපි ප්‍රකාශ කළ හැටියට - බෞද්ධයාගේ අළුත් අවුරුද්ද දවසයි. මෙබඳු දවසක, එබඳු අධිෂ්ඨානයක් කරගත්තා නම්, අන්න ඒ අධිෂ්ඨානය අනුව දිනපතා මෙබඳු ගාථාවක් සිහිපත් කරගෙන, ආදර්ශපාඨයක් හැටියට තබාගෙන, ඒ එදිනෙදා තමන්ට ලැබෙන සුළු කාලයක් හෝ විනාඩියක් විනාඩි පහක් දහයක් හෝ නින්දට යන්න කලින් යොදා ගන්නවා. ඒ දැන් බොහෝ දෙනා කියන දෙයක් තමයි ‘අපට නිවාඩු නැහැ’ කියලා. රජයේ නිවාඩු ආදිය කොතෙකුත් ලැබෙනවා. නිවාඩුව කියන එක දෙන දෙයක් නෙවෙයි, තමන් ලබා ගතයුතු දෙයක්. කොතෙකුත් නිවාඩු නම් ලැබෙනවා. නමුත් තමන්ට නිවාඩුවක් නැහැ. නිවාඩුව කියන එක උත්සාහයෙන් ලබා ගතයුතු දෙයක්. ඕනෑකම තිබෙනවා නම්, සංවේගය කියන වේගය තිබෙනවා නම්, අප්‍රමාදව ඒ ධර්මතාවේ හික්මෙනවා නම්, ඒ තැනැත්තාට වෙලාවක් තිබෙනවා, මොහොතක් තිබෙනවා, ටිකෙන් ටික හරි ආරම්භයක් කරගන්න පුළුවන්. එතකොට මේ පින්වතුන් මේ ධර්මදේශනාව අනුසාරයෙන් තමතමන්ගේ ජීවිතය ධර්ම මාර්ගයට ළං කර ගැනීමට මේ බුදුපියාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම මාර්ගය, ආර්ය අෂ්ටාංශික මාර්ගය, අනුගමනය කරමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව බණ භාවනා, ශීල, සමාධි, ප්‍රඥා වඩමින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රතිලාභයෙන් යම්කිසි අවස්ථාවක, මේ මුල මහත් සංසාර දුකෙන්ම අත්මිදිලා උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්නට ඕන. මේ අවස්ථාවේදී, මේ බණ අහන අවස්ථාවේදී, පවා මොහොතින් මොහොත භාවනා මානසිකාරයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා නම් මේ පින්වතුන්ගේ සිත්තුළ ඇති වන කුසල් සියල්ල දුරු වුනා, ඒවා ඉවත් වුනා, ඒ වෙනුවට කුසල් සිතුවිලි සම්භාරයක්, ප්‍රණීත වූ කුසල් සිතුවිලි සම්භාරයක්, මේ අවස්ථාවේ මේ පින්වතුන්ගේ චිත්ත සන්තානයේ ඇතිවුනා. ඒ කුසල් සිතිවිලි සම්භාරය මේ කාලයේදීම කරන ඒ නිවන් දැකීමේ උත්සාහයට උපකාර වේවා, නිවන් දැකීමට උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන.

ඒ වගේම දැන් එතකොට මේ එකතු කරගත්ත කුසල සම්භාරය - මේ අවස්ථාවේදී ධර්මශ්‍රවණමය වශයෙන්, අපිත් ධර්ම දේශනාමය වශයෙන් යම් කුසල සම්භාරයක් එක්රැස් කර ගත්තා නම්, මේ සාසන පරිහානි අවධියේ අවදිව සිටින සාසනාරක්ෂක දෙවි දේවතාවුන් ආදී දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ඒ දෙවි දේවතාවුනුත් ඊළඟට මේ ස්ථානයේ, මේ පූජනීය ස්ථානයේ පහන් කණුව කියන එක - විශේෂයෙන් මේ පින්වතුන් දන්නවා,- විශේෂ බල සම්පන්න ස්ථානයක් බව. මෙබඳු ස්ථාන ආශ්‍රිතව යම්කිසි දෙවි දේවතාවුන් ආදී ඒ ආත්මභාවයන් සිටිනවා නම්, පින් කැමති ඒ හැම දෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වී සියළු සංසාර දුකෙන් අත්මිදී උතුම් වූ පරම ශාන්ත අමා මහ නිර්වාණය ප්‍රාර්ථනීය බෝධියකින් සාක්ෂාත් කරගනිත්වා කියලා ඒ දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මේ පින්වතුන්ගේ මිය ගිය ඥාතීන්ද ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා යම්කිසි සත්ත්වයින් සිටිනවා නම් පින් අනුමෝදන් වෙන්න කැමති, ඒ හැම දෙනෙක්ම මේ කුසලය අනුමෝදන්වී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථා කියල පින් දෙන්න.

“එත්තාවතා ච අම්හේහි…….”